ග්‍රෙවිල් මැතිණියගේ ආභරණ උරුමය

0
202

කොටස් ගණනාවකින් මං ඔයාලාට විවිධාකාර ආභරණ ගැන විස්තර අරන් ආවානේ. අද කියන්න යන්නේ රජ පවුලේ ආභරණ ගැන කතා කරද්දි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන කෙනෙක් ගැන. කලින් කොටස කියවන්න බැරිවුන කවුරුහරි ඉන්නවනම් පහළ ලින්ක් එකෙන් ඔයාලට පුලුවන් විස්තර දැනගන්න.
https://www.facebook.com/pundilhani/posts/3609344752518132
රාජකීය ආභරණ ගැන පොඩි හරි උනන්දුවක් ඇවිත් වැඩි සෙවීම් කරනකොට අනිවාර්යයෙන්ම මුණගැහෙන නමක් තමයි ග්‍රෙවිල් කියන්නේ. අද අපි කතා කරන මේ ග්‍රෙවිල් ආභරණ උරුමය කිව්වේ දෙවන එලිසබෙත් රැජිනගේ මව වුණු මව් එලිසබෙත් රැජිනට 1942 දී රොනල්ඩ් ග්‍රෙවිල් මැතිණියගෙන් ලැබුණු ස්වර්ණාභරණ එකතුවක්. ඉතින් අපේ විශේෂාංග තුළින් ආභරණ ගැන කතා කරද්දි ග්‍රෙවිල් මැතිණියගේ නම නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා අද විස්තරය ඇය ගැන.
1863 දී ස්කොට්ලන්තයේ ධනවත් බීර නිෂ්පාදකයෙකු සහ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ විලියම් මැක්ඒවන්ගේ සහ හෙලන් ඇන්ඩර්සන්ගෙ නීත්‍යානුකූල නොවන දියණියක විදියට තමයි මාග්‍රට් “මැගී” හෙලන් ඇන්ඩර්සන් උපත ලබන්නේ. ඇගේ උප්පැන්න සහතිකයට අනුව පියා ලෙස වෙනත් අයකුගේ නමක් තිබූ බවත් හෙලන් ඇන්ඩර්සන් තම දියණියගේ උපත සිදුවන විට මැක්ඒවන්ගේ බීර නිෂ්පාදනාගාරයේ සේවකයෙකු සමඟ විවාහ වී සිටි බවත් කියනු ලැබේ. කෙසේ වෙතත් මේ නිසා මැගීගේ ළමා කාලය එතරම්ම සතුටුදායක එකක් නොවූ බව පැහැදිලියි.
නමුත් අවසානයේදී විලියම් මැක්ඒවන් සහ හෙලන් ඇන්ඩර්සන් 1885 දී විවාහ වූ අතර මැක්ඒවන් සිය බියර් ව්‍යාපාරයෙන් ඉපයූ මිලියන ගණනක උරුමක්කාරිය බවට මාග්‍රට් පත්වුණේ සමාජයේ ඇයට ස්ථාවරයක් මෙන්ම යම් තත්ත්වයක්ද ලබාදෙමිනුයි. 1891 දී 2 වන ග්‍රෙවිල් බැරන්වරයාගේ වැඩිමහල් පුත්‍රයා සහ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රොනල්ඩ් ග්‍රෙවිල් සමග විවාහ වීමත් සමඟ තමයි මැගී රජපවුලේ හිතවතියක් බවට පත්වෙන්නේ. මිතුරන් අතර රොනී යන ආදරණීය නාමයෙන් හැඳින්වුණු ග්‍රෙවිල් මැතිතුමා එකල වේල්සයේ කුමරු සහ පසුව vii වන එඩ්වඩ් රජතුමාගේ සමීප මිතුරෙක් වුණා. මේ නිසා මැගීත්, එඩ්වඩ්ගේ ප්‍රියතම අනියම් බිරිඳ වුනු ඇලිස් කෙපල්ගේ (කැමිලා පාර්කර් බෝල්ස්ගේ මී මිත්තණියක්) හොඳම මිතුරියක් බවට පත්වුණා. ග්‍රෙවිල් යුවලගේ විවාහය ප්‍රීතිමත් එකක් වුණත් ඉතා අවාසනාවන්ත ලෙස අවසාන වුනේ ග්‍රෙවිල් මැතිතුමා 1908 දී වයස අවුරුදු 43 දී හදිසියේ මිය යාමත් සමඟයි. ඔවුන්ට දරුවන් ද සිටියේ නෑ.
මාග්‍රට් ග්‍රෙවිල්ගේ විවාහයත් සමඟම සමාජයේ ප්‍රධානීන්ට සත්කාරකත්වය සැපයීම සහ බලවත් මිතුරන් එක්රැස් කිරීම සඳහා වූ ඇගේ කැමැත්ත වැඩි වූ අතර වැන්දඹු වූ පසුවත් මේ ලක්ෂණවල වෙනසක් සිදු වුණේ නෑ. විනෝදාස්වාදය පිණිස ඇය විසින් ලන්ඩනයේ රාත්‍රී භෝජන සංග්‍රහ සහ සති අන්තයේදි ග්‍රාමීයව තම පොලෙස්ඩන් ලේසී මන්දිරයේදී සාද පැවැත්වීම නිරන්තරයෙන් සිදුවුණා. රොනීගේ අකල් මරණයට පෙර ග්‍රෙවිල් යුවල විසින් ග්‍රාමීය වතුයායක් මිල දී ගෙන එය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර සිටි අතර එහි VII වන එඩ්වඩ් රජු වෙනුවෙන් වෙනම නවාතැන් පහසුකම් සලසා තිබූ බව සඳහන්.
ග්‍රෙවිල් මැතිණිය තම සත්කාරකත්වය දැක්වූ රාජකීයයන්ගේ ලැයිස්තුවේ ආරම්භය එඩ්වඩ්ගෙන් සටහන් වුනත් එතැන් පටන් ප්‍රභූ පැලැන්තියේ බොහෝ මිතුරන් ඇය ඇසුරු කළා. සමාජ සේවිකාවන් වශයෙන්ද කටයුතු කළ ඇය ඊජිප්තුව, ස්පාඤ්ඤය, ග්‍රීසිය වැනි රටවල රාජකීයයන් සහ තානාපතිවරු දේශපාලන බලය ඇති අය සමඟ ඇසුරු කළා. VII වන එඩ්වඩ්ගේ මරණයෙන් පසුවත් ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ මිතුරියක් බවට තවදුරටත් පත්වුනේ මේරි රැජිනට හොඳ මිතුරියක් වීමෙන්. සමහරවිට ඔවුන්ගේ යාලුකමට ආභරණත් හේතුවක් වෙන්න ඇති මොකද මේරිත් කොයිතරම් ආභරණවලට කැමතිද කියලා අපි දැනටත් දන්න නිසා. රජ පවුලට කළ සේවය වෙනුවෙන් 1922 දී ඇය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩේම් කමාන්ඩර් ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා.
රාජකීය පවුලේ සමීප මිතුරියක ලෙස ඇයගේ තනතුර තවදුරටත් තහවුරු කරමින් ඇය විසින් තම පොලෙස්ඩන් ලේසී මන්දිරය Vවන ජෝර්ජ්ගේ සහ මේරි රැජිණගේ දෙවන පුත්‍රයා වුණු ඇල්බට් කුමරු(බර්ටි) වෙත පිරිනැමුවා. එසේම ඇල්බට්ගේ සහ එලිසබෙත් බෝව්ස්-ලියොන් ආර්යාවගේ විවාහය සිදුකිරීමට මහත් පිටුවහලක් දැක්වූ අයෙක් විදියටත් ග්‍රෙවිල් මැතිණිය සඳහන්. මේ නිසා අනාගත ජෝර්ජ් රජු සහ එලිසබෙත් රැජින විවාහයෙන් පසු 1923 දී තම මධුසමය පොලෙස්ඩන් ලේසි හි ගත කළ අතර ඇය මිය යන තුරුම රොනී මහත්මිය ඔවුන්ගේද සමීප මිතුරියක් බවට පත්වුනා.
ග්‍රෙවිල් මැතිණිය ඉතිහාසයේ විස්තර කෙරෙන්නේ ඉතාම ආඩම්බර කාන්තාවක් හැටීයට. නිරතුරුවම අන් අය විවේචනය කරමින්, රාජකීයයන්ට පමණක් හොඳ හිත පෙන්වමින් ඉතා ඉහළ ජීවිතයක් ඇය ගෙවූ බව සඳහන්. එසේම ඇය විසින් 1930 මුල් භාගයේදී ජර්මානුවන් ගැන ඇතිවූ අනුකම්පාවකින් ජර්මනියට ගොස් හිට්ලර් සමඟ සාකච්ඡා කළ බව ප්‍රසිද්ධ රහසක්. මේ නිසා ඇය පිළිබඳව රටවැසියන්ගේ මනාපයක් නොතිබූ බැවින් ඇය එම සම්බන්ධත අතහැර දමන්නේ ඒ හා අදාළ ලිඛිත සාක්ෂිත් විනාශ කරමිනුයි.
මතභේදාත්මක දේවල් පසෙකින් තැබූ විට ඇය රජ පවුලට ඉතාම හොඳ මිතුරියක් වුණා. ඇය 1942 සැප්තැම්බර් 15 වන දින ඩෝර්චෙස්ටර් හෝටලයේදී මිය ගිය අතර ජර්මානු බෝම්බ හෙලීමේ අනතුරු නිසා සිය ජීවිතයේ අවසාන කාලය ලන්ඩනයෙන් පිටවීම ප්‍රතික්ෂේප කළා.
“මට ඇයව බොහෝ සේ මතකයට නැගෙනු ඇත. ඇය ඉතා බුද්ධිමත්, කාරුණික, විනෝදකාමී, සෘජු, තියුණු, විනෝදකාමී සමස්තයක් වශයෙන් සැබෑ පුද්ගලයෙක් විය. රොනල්ඩ් ග්‍රෙවිල් මහත්මිය සෑම විටම ඉතා ළබැදි හිතවතියක් විය.”
ඒ මව් එලිසබෙත් රැජින ග්‍රෙවිල් මැතිණියගේ මරණයෙන් පසු ලියූ සටහනකි.
ඇයට දරුවන් හෝ සමීප නෑදෑයන් නොසිටි නිසා ඩොලර් මිලියන 1.5 කට වඩා වැඩි වටිනාකමකින් යුතුවූ වතුයාය මූලික වශයෙන් පුණ්‍යායතන, මිතුරන් පක්ෂපාතී කාර්ය මණ්ඩලය සහ ඇය ආදරය කළ රාජකීයයන් කිහිපදෙනෙකු අතර බෙදී ගියා. මාග්‍රට් කුමරියට ඩොලර් 20,000 ක් ලැබුණු අතර ස්පාඤ්ඤයේ වික්ටෝරියා ඉයුජීනියා රැජිනටද (වික්ටෝරියා රැජිණගේ මිනිපිරියක්) තවත් සැලකිය යුතු මුදලක් ලැබුණි. ග්‍රෙවිල් මැතිණියගේ දේව දියණිය වූ සෝනියා කෙපල් (කැමිලා පාර්කර් ආදිපාදවරියගේ මිත්තණිය) ඇතුළු ඇගේ තවත් දේව දරුවන් සඳහාද මුදල් ඉතිරි කොට තිබුණා.
රාජකීය පවුල පුදුමයට පත් කරමින් ඇය විසින් තම පොලෙස්ඩන් ලේසී මන්දිරය රජු සහ රැජින වෙත ලබා නොදී ජාතික අරමුදලට ලබා දීමට තීරණය කර තිබුනේ එය මහජනයාට නැරඹීමට හැකි වන පරිදියි.
නමුත් ග්‍රෙවිල් මහත්මිය රාජකීය පවුලට වෙනස් ආකාරයේ පුදුමයක් ඉතිරි කරමින් එලිසබෙත් රැජිනට ඇගේ වටිනා ආභරණ එකතුව ලබාදී තිබුනා. ඇයගේ ආභරණවලින් එලිසබෙත් රැජිනට උරුම නොවුනේ පවුම් 100 ට අඩු වටිනාකමක් ඇති ඒවා පමණක් වූ අතර ඒවා ග්‍රෙවිල් මැතිණියගේ දිගුකාලීන සේවිකාව වෙනුවෙන් ලබා දී තිබුණා.
ග්‍රෙවිල් මැතිණිය විසින් මෙසේ ලබාදුන් ආභරණ බොහෝමයක් මව් එලිසබෙත් රැජිනගේ ප්‍රියතම ඒවා බවට පත්වූ අතර අදටත් රාජකීය කාන්තාවන් ඒවා පළඳින්නේ ග්‍රෙවිල් මැතිණියගේ ත්‍යාගශීලී භාවය නිසාමයි. ඒ වගේම ඇය තුළත් රාජකීයයන් වෙත තිබූ කැමැත්ත මේ නිසා සදාකාලිකවම රැඳවුණු බවත් කියන්න පුලුවන්.
මේ ආභරණ එකතුවේ සම්පූර්ණ ලැයිස්තුවක් කිසිම අවස්ථාවක ප්‍රසිද්ධියට පත් නොකලත් එහි ආභරණ 60කට අධික පිරිසක් තිබූ බව සඳහන්. ඒ අතරින් අද වෙනතුරුත් කිසිවෙකුත් නොපැළදි ඒවාත් තියෙනවා. විශාල ග්‍රෙවිල් දියමන්ති ටියාරාව, තවත් බෑන්ඩ් ටියාරාවක්, නිල් මැණික් මාලයක්, මංගල තෑග්ගක් ලෙස ඇගේ සැමියාගෙන් ලද දියමන්ති තාරකා, තවත් මංගල තෑගි වූ කොළ මැණික් අත් පළඳනාවක්, පියාගෙන් ලැබුනු දියමන්ති ටියාරාවක්, කලු දියමන්ති එකතුවක්, ඉන්දියාවේ දියමන්ති අත් පළඳනාවක්, මුතු වැල් මාල සහ කරාබු ගණනාවක් සහ ඉතා ප්‍රසිද්ධ තට්ටු පහේ දියමන්ති මාලය ඇගේ ආභරණ වලින් කිහිපයක්. ඇය වෙනුවෙන්ම සාදා ගත් ආභරණ මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති ආභරණද ඇය විසින් එකතු කළ බව සඳහන්. මාරි ඇනටොයිට් බිසවට අයිති දියමන්ති මාලයක් ඈ සතුව තිබූ බව මේ සඳහා හොඳම උදහරණයක්.
ග්‍රෙවිල් උරුමයෙන් ලද බොහෝමයක් ආභරණ මව් එලිසබෙත් රැජින මිය යන තුරුම භාවිතා කළා. 2002 ඇයගේ මරණයෙන් පසු රැජිණ විසින් කෝන්වෙල් ආදිපාදවරිය කැමිලා පාර්කර් වෙත ඒ අතරින් බොහෝමයක් ණයට ලබාදුන්නා. ඉතින් ග්‍රෙවිල් මැතිණයගේ ඉතාම ආදරණිය දේව දියණිය සෝනියා කැපෙල්ගේ මිණිපිරිය වන කැමිලා ළඟ ඒ ආභරණ තිබීමත් ආදරණීය පුදුමයක්. ඇයගේ එකතුවෙන් ආභරණ ගැන අපි ඉදිරියට කතා කරමු. මරණයෙන් පස්සේ ඇයගේ සියලුම ආභරණ වල අයිතිය අපටත් පවරන එහෙම යාලුවෙක් හිටියොත් හොඳයි කියලා ඔයාලාටත් හිතෙන්නේ නැද්ද?
ඉතින් අද ටිකක් දිගට ලියවුණු ග්‍රෙවිල් මැතිණිය විස්තර මෙපමණයි. ආභරණයක් එක්ක තව කොටසකින් හමුවෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here